01 ශ්‍රේණිය
අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක මණ්ඩලය විසින් අනුමත කරන ලද ගුරු වන්දනා ගාථාව සහ අධිෂ්ඨාන පද්‍යය
ගුරු වන්දනා ගාථාව
ඔවාද සිප්ප දානේන
සික්ඛාපේති මමං ගරු
සගාරවේන චිත්තේන
අහං වන්දාමි තං ගරුං
ඔවා සිප් දීමෙන
මා හික්මවන පේමෙන
ඇදුරු හද බැතියෙන
වඳිමි ගරු සිත පෙරටු කරමින
පාසල් උදෑසන රැස්වීම අවසානයේ කෙරෙන අධිෂ්ඨානය
තෙරුවන පුදා සිහිකර මාපිය දෙදෙන
ගුරු සිත දිනා ඔප කර ගෙන ගුණ නුවණ
කරමින සබා විදුහල් මෑණිගෙ සිහින
සුරකිමි සදා මගෙ රට ජාතිය සසුන
රචක: පූජ්‍ය ගන්තුනේ අස්සජි හිමි
ලුම්බිණියේ සල් උයනේ ලස්සන සල් මල් පිපුණා. මහමායා මවු කුසයෙන් වෙසක් පෝය දා සිදුහත් කුමරු උපන්නා.
ජය සිරි මහා බෝ සෙවණේ වෙසක් පෝය දා සිදුහත් බෝසත් උතුමා බුදුබව ලැබුවා.
උපවත්තන සල් උයනේ කුසිනාරාවේ බුදු හිමියන් පිරිනිවුණේ වෙසක් පෝය දා
වෙසක් සඳත් බබළනවා
වෙසක් කූඩු දැල්වෙනවා
කොඩිවැල් හැම ලෙළ දෙනවා
වෙසක් පෝය දා
සාධු! සාධු! සාධු! නාද
ගම පුරා ම පැතිරෙනවා
දන් දෙනවා සිල් රකිනවා
වෙසක් පෝය දා
සෝපාක තාත්තා නැති අසරණ පුතෙක්.
ඔහු කැලෑවේ සොහොනක අතරමං කරලා.
හැම තැන ම කළුවරයි.
ඇඟට හරි සීතලයි.
නපුරු හඬවල් ඇසෙයි.
සෝපාක කෑ ගසයි.
බුදුන් වහන්සේ සෝපාකට කතා කළා.
" එන්න පුතේ සෝපාක මම ඔබට පිහිට වෙමි.”
සෝපාකට හරි සතුටුයි.
බුදු හාමුදුරුවෝ කරුණාවන්තයි. සෝපාක මහණ කළා. භාවනා කළ සෝපාක පොඩි හාමුදුරුවෝ පුංචි කාලෙ ම රහත් වුණා.
රාහුල පොඩි හාමුදුරුවෝ උදෙන් ම අවදි වෙනවා. මුව ධෝවනය කරනවා. මළුපෙත් අමදිනවා.
වැලි දෝතක් ගෙන අහසට විසිකර "මේ වැලි කැට ගණනට මට අවවාද ලැබේවා!" යි පතනවා.
පුංචි අපිත්, රාහුල පොඩි හාමුදුරුවන් වගේ වැඩිහිටියන් දෙන අවවාද පිළිගනිමු. කීකරු ව වැඩ කරමු.
මිහිඳු හාමුදුරුවෝ මිහින්තලාවට වැඩම කළා. දඩයමේ ගිය තිස්ස රජුට මිහිඳු හාමුදුරුවන් මුණ ගැසුණා.
මිහිඳු හාමුදුරුවෝ රජතුමාට බණ දේශනා කළා. බණ ඇසූ රජතුමා තෙරුවන් සරණ ගියා.
රජතුමා වෙහෙර විහාර සෑදුවා, හාමුදුරුවන්ට සැලකුවා, සතුන් මැරීමෙන් වැළකුණා, දැහැමින් රට පාලනය කළා.
සාම කුමාරයාගේ දෙමවුපියන්ගේ ඇස් පේන්නේ නැහැ. පුංචි කුමාරයා දෙමවුපියන්ට ආදරයෙන් කතා කළා. පලතුරු ගෙනැවිත් කැවුවා. වතුර පෙවුවා. කරුණාවෙන් සැලකුවා.
මුවෝ, ගිරවු, හාවෝ සාම කුමාරයාගේ යහළුවෝ. කුමාරයා වතුර ගේන්න ගඟට ගියා.
කැලේට ආපු පිළියක් නම් රජතුමා මුවෙකුට විද්දා. සාම කුමාරයාට ඒ ඊතලය වැදුණා. සිහිය නැති වුණා.
අම්මායි තාත්තායි පුතා ළඟට ආවා. " අපේ පුතා සුවපත් වේවා!" කියා මෙත් වැඩුවා.
සාම කුමාරයා සුවපත් වුණා.
අම්මාගේත් තාත්තාගේත් ඇස් පෙනුණා.
අපිත් මෙත් වඩමු. ජය ලබමු.
බුද්ධං සරණං ගච්ඡාමි.
මම බුදුන් සරණ යමි.
ධම්මං සරණං ගච්ඡාමි.
මම දහම් සරණ යමි.
සංඝං සරණං ගච්ඡාමි.
මම සඟුන් සරණ යමි
* පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
* අදින්නාදානා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
* කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
* මුසාවාදා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
නංගී : අයියේ අන්න කවුද ගේට්ටුව ළඟ වාඩි වෙලා ඉන්නවා.
අයියා: ඇත්ත තමයි. සීයා කෙනෙක්, අපි ගිහිං බලමු නංගී.
සීයා : අනේ පුතේ, මට බඩගිනියි. ඊයේ ඉඳලා ම කෑවේ නෑ.
අයියා : නංගී! ඉක්මනට යන්න. කන්න දෙයක් ගේන්න.
නංගී : සීයේ මෙන්න වතුර. අත සෝදාගෙන මේ බත් කන්න. මේ වතුර වීදුරුව බොන්න.
සීයා : මගේ බඩගිනි නිවුණා. පිපාසයත් නැති වුණා. පුතාලට පිං සිද්ධ වෙනවා.
නංගි : අපිට හරිම සතුටුයි, නේද අයියේ?
අයියා : ඔව් නංගී. හොඳ වැඩ කළා ම අපට සතුටු වෙන්න පුළුවන්.
මුව සෝදා පිරිසිදු වෙමු
සුදු ඇඳුමින් අපි සැරසෙමු
තෙල් අරගෙන මල් අරගෙන
අපි සැම දෙන පන්සල් යමු
හිස් වැසුම් පාවහන් ගලවමු.
නිශ්ශබ්ද වෙමු.
මල් අසුන් පිරිසිදු කරමු.
මළු අමදිමු.
අත් සෝදමු.
මල් ධෝවනය කරමු.
වන්දනාවේ පිළිවෙළ
පළමු ව වෙහෙර වහන්සේ වඳිමු.
දෙවනුව බෝධීන් වහන්සේ වඳිමු.
තෙවනුව බුදු පිළිම වහන්සේ වඳිමු.
අනේපිඬු සිටුවරයාට ලස්සන මිනිපිරියක් හිටියා.
ඇයට ලස්සන බෝනික්කෙක් හිටියා.
ඇය හැම දාම බෝනික්කා එක්ක සෙල්ලම් කළා. බෝනික්කාට දුවේ කියා කතා කළා. දවසක් ඇය අතින් බිමට වැටුණු බෝනික්කා කැඩිලා ගියා.
මිනිපිරියට දුකයි. හොඳට ම ඇඬුවා. සිටුතුමා බෝනික්කා වෙනුවෙන් බුදු හාමුදුරුවන්ට දානයට ආරාධනා කළා. මිනිපිරිය කෙරෙහි කරුණාවෙන් බුදු හාමුදුරුවෝ දානය පිළිගත්තා. මිනිපිරියට හරිම සතුටුයි.
අපේ හාමුදුරුවෝ පන්සලේ වැඩ සිටිනවා. හාමුදුරුවෝ අපට පින් පව් කියා දෙනවා. බණ කියා දෙනවා. අපට ආශීර්වාද කරනවා. අපි හාමුදුරුවන්ට ගරු කරමු, වඳිමු. සාධු! සාධු! සාධු!
අපේ අම්මා තාත්තා අපට හරි ම ආදරෙයි. උදේ සවස අම්මාට තාත්තාට වඳිමු. ආශීර්වාද ලබා ගනිමු.
අම්මාට වඳිමු.
දසමාසේ උරේකත්වා
පෝසේසි වුද්ධි කාරණං
ආයු දීඝං වස්ස සතං
මාතු පාදං නමාමහං
තාත්තාට වඳිමු.
වුද්ධිකාරෝ ආලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකං
රාජමජ්ඣං සුපතිට්ඨං
පිතු පාදං නමාමහං
මම අත්තම්මාගේ අත අල්ලාගෙන මිදුලේ ඇවිදින්න ගියා.
සීයාට කියවන්න බණ පොත ගෙනැත් දුන්නා.
🧑🤝🧑වැඩිහිටියෝ අපට හුඟක් උදවු කරනවා.
🧑🤝🧑අපිත් වැඩිහිටියන්ට ආදරයෙන් උදවු කරමු.
සමන් : අම්මේ, කුරුල්ලන්ට සතුන්ට කෑම ලැබෙන්නේ කොහෙද?
අම්මා : උන් එහෙ මෙහෙ පියාඹලා, ඇවිදලා ගස්වල තියෙන පලතුරු කනවා පුතේ.
සමන් : පව්! ගස්වල පලතුරු නැති කාලෙට සතුන්ට කෑම නැහැනෙ. අපි බත් ටිකක් දෙමු ද අම්මේ?
අම්මා : හොඳයි පුතේ, එහෙනම් අපි කුරුලු ලෑල්ලක් හදමු. බොන්න වතුරත් තියමු.
මගෙ අම්මා මට හිත
මගෙ අම්මා මට සැප
ඈ මගෙ වැඩි දියුණුව ම
හීනෙන් වත් අවැඩක් නොසිතයි
(යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි)
මගේ අම්මා හරිම හොඳයි.
අම්මා මට හුඟක් ආදරෙයි.
මගේ අම්මාට මමත් හුඟක් ආදරෙයි.
කිසි ම සතකු නො පෙළන්න පුතේ
කටුස්සකුට හූනකු හට වත්
ලේනකු බළලකු මොකකුට වත්
හිංසාවක් නොම කරන්පුතේ
(යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි)
සත්තු අපේ යහළුවෝ සතුන්ට හිංසා කරන්න හොඳ නැහැ. අපි සතුන් ආදරයෙන් රැක ගනිමු.
හාමුදුරුවන් වහන්සේලා දානයට වඩිනවා.
හාමුදුරුවන්ගේ පා ධෝවනය කර පිස දමනවා.
බුද්ධ පූජාව තැන්පත් කරනවා. සාධු! සාධු!! සාධු!!!
අපි ධාතු කරඬුවට වඳිනවා. හාමුදුරුවන්ටත් වඳිනවා. සාධු! සාධු!! සාධු!!!
දානය පිළිගන්වනවා. සාධු! සාධු!! සාධු!!!
පිරිකර පූජා කරනවා. සාධු! සාධු!! සාධු!!!
හාමුදුරුවන් දේශනා කරන බණ අහනවා. සාධු! සාධු!! සාධු!!!
මල්ලි : හොඳ වචන කතා කළ අය කවුද අක්කේ?
අක්කා : රාහුල පොඩි හාමුදුරුවෝ, සාම කුමාරයා.
මල්ලි : නන්දිවිසාල ගවයා කරත්ත ඇද්දේ නැත්තේ ඇයි අක්කේ?
අක්කා : නන්දිවිසාල ගවයාට නරක වචනයෙන් කතා කළ නිසා කරත්ත අදින්නේ නැතුව හිටියා.
මල්ලි: හොඳ වචන වලට කවුරුත් කැමැතියි නේද අක්කේ?
අක්කා : ඔව් මල්ලී. හොඳ වචන කතා කරන අයට දෙවිවරුත් කැමැතියි. දිව්‍ය ලෝකේ උපදින්නත් ලැබෙනවා.
මල්ලි : එතකොට නරක වචන කතා කළාම මොකද වෙන්නේ?
අක්කා : අපායේ උපදිනවා. දුක් විඳින්නත් වෙනවා.
මල්ලි : අක්කයි මමයි හොඳ වචන විතරයි කතා කරන්නේ. ඒ නිසා අපි කවදාවත් දුක් විඳින්නෙ නෑ.
සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කළා.
අනුරාධපුරයේ මහමෙව්නා උයනේ බෝධීන් වහන්සේ රෝපණය කළා.
උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අපි වඳිමු.
දුටුගැමුණු රජතුමා රුවන්මැලි සෑය සෑදුවා. හැම දෙනා ම උදවු කළා.
අනුරාධපුරේ රුවන්මැලි සෑය හුඟක් ලොකුයි. බලන්න ලස්සනයි. අපි රුවන්මැලි වෙහෙර වහන්සේට වඳිමු.
රුවන්මැලි සිත සනසනවා
ගැමුණු රජුන් මට සිහි වෙනවා
දොහොත් මුදුන් දී නමදිනවා
බුදු ගුණ ලොවට ම සෙත දෙනවා